රාජ්‍ය ‌‌වෙසක් උත්සවය තොටගමු විහාරයේදී

මේ වසරේදි රජ්‍ය වෙසක් උත්සවය (ශ්‍රී බුද්ධ වර්ෂ 2563) මැයි මස 17 දින හා 18 දා රාජ්‍ය අනුග්‍රහය යටතේ ගාල්ල හික්කඩුව, තෙල්වත්ත, තොටගමු පුරාණ රන්පත් රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විමට නියමිතය. මීට සමගාමීව මැයි මස 15 දා සිට 21 දා දක්වා වෙසක් සතිය ප්‍රකාශට පත්කිරිමට නියමිතය.

 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයන්හි භෞතික සම්පත් සංවර්ධනය, මතින් තොර අධ්‍යාත්මික සංවර්ධනයෙන් පිරිපුන් සමාජයක් බිහි කිරිම සඳහා ආධ්‍යාත්ඹක වැඩසටහන්  පැවැත්විම හා සවිමත් ආර්ථිකයක් හා බුදු දහමින් පෝෂිත සාහිත්‍ය හා කාලාවේ ප්‍ර බෝධයක් ඇති කිරිමේ වැඩසටහන් පැවැත්වීමටත් නියමිතය.

මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සඳහා  බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

2018දී අලුත් ක්ෂය රෝගීන් 8258ක්

2018 දී ශ්‍රී ලංකාව තුළ අලුතෙන් ක්ෂය රෝගීන් 8258ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි. මෙයින් රෝගීන් 5827ක්ම පෙනහළු ආශ්‍රිතව ක්ෂය රෝගය වැළඳුණ පුද්ගලයන් වන බවත් එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

මෙසේ සොයාගන්නා ලද රෝගීන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් එනම් 40%ක් පමණ සොයාගෙන ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණක් ක්ෂය රෝගීන් 25%ක් හඳුනාගෙන ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

බිඳිති ආසාදනයෙන් බෝවන රෝගයක් වන ක්ෂය රෝගය පැතිරයාම වළක්වා ගැනීම සදහා මහජන සහාය අවශ්‍ය බවත් රෝගය වැළඳුණ පුද්ගලයන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බවත් ඔවුන් සඳහන් කරයි.

අධ්‍යාපන චාරිකාවක් ගිය සිසුන් රිය අනතුරක

පාසල් අධ්‍යාපන චාරිකාවක යමින් සිටි  ළමුන් පිරිසක් රැගත්  පුද්ගලික බස්රථයක්  අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී ලංගම බස් රථයක පිටුපස ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිසුන් 13 දෙනෙකු පමණ සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත්කර තිබේ.

  අද (19දා) උදෑසන 08.30 පමණ මෙම අනතුර සිදුව ඇති අතර බස් රථ දෙකම තංගල්ල දෙස සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබියදී ලංගම බස් රථය මගියෙකු ගැනීම සඳහා එකවර රථය නතර කළ අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයකයකි. අනතුරින් බස් රථයේ ගමන්ගත් ගුරුවරුන් දෙදෙනකුද සුළු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබේ.

රාහුල් සමන්ත

මඳුරකැටිය විදුහලට බඹර ප්‍රහාරයක්

මොණරාගල මදුරුකැටිය මහා විද්‍යාලයේ ගසක තිබූ බඹර කූඩුවක් අද  (19) දහවල් ඇවිස්සීමෙන්  එම පාසලේ සිසු සිසුවියන් 16 දෙනෙක්  පමණ මොණරාගල සිරිගල රෝහලට ඇතුලත් කල බව මොනරාගල කලාප අධ්‍යක්ෂක සරත් බන්දු මහතා පැවසීය.

මෙම පාසලේ ගසක තිබූ බඹර කූඩුවකට සිසුවකු විසින් ගලක් ගැසීම නිසා  බඹරු ඇවිස්සී විවේක කාලයේ පාසැල් පරිශ්‍රයේ සිටි  සිසු සිසුවියන්ට බඹරුන් දෂ්ඨ කර තිබේ.

මෙම අවස්ථාවේදී පාසලේ ගුරුවරුන්ගේ මැදිහත්වීමෙන් දරුවන් පාසලේ කාමර වලට දමා දොරවල් වසා තැබීම නිසා හානිය අවම වී තිබේ.

බඹරුන් දෂ්ඨ කිරීමෙන් විෂ ශරීරගතවී සිටි සිසු සිසුවියන් සුව සැරිය ගිලන් රථ මගින් රොහල් කරා ගෙන ගිය බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

මෙම සිද්ධියත් සමඟ අද දිනයේ පාසල වසා දැමූ බවද අධ්‍යක්ෂකවරයා පැවසීය.  

ගුරුවරුන් 5,000ක් බඳවා ගනියි

අධ්‍යාපන පද්ධතිය දේශපාලනයෙන් මුදා ගත යුතු බවත්, අධ්‍යාපනයේ සියලු පත් කිරීම් සුදුස්සන්ටම ලබාදීම තම ප්‍රතිපත්තිය බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදිකළ ගිරිඋල්ල රත්නාලංකාර මහා විද්‍යාලයේ ද්විතීයික කණිෂ්ඨ විද්‍යාගාරය සහ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍යවරයා, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ඇතුළු අධ්‍යාපනයේ කිසිදු තනතුරකට දේශපාලන අතපෙවීම් නොකිරීම මගින් අධ්‍යාපනයේ ගුණාත්මක බව ආරක්ෂා කිරීමට හැකියාව ලැබුණා. ගතවූ වසර 4ක කාලය තුළ කිසිදු නුසුදුසු ගුරුවරයෙකු අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කර නොගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා විද්‍යාපීඨ බඳවා ගැනීම් දෙගුණ කිරීම සඳහා නේවාසිකාගාර ඇතුළු පහසුකම් සංවර්ධනය කර ඇති‍ අයුරු ද සඳහන් කළේය.

උපාධිධාරීන් 20,000කට රැකියා ලබාදීමේ රජයේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 5,000ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ද පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා ජාතික පාසල් සඳහා තවත් ගුරුවරුන් 3,500ක් බඳවා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කර ඇති බව ද සඳහන් කළේය.(ada)

කාලගුණයෙන් රතු නිවේදනයක්

අකුණු හා තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, හා මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු හා ගිගුරුම් ඇතිවීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

අද පස්වරු 11.00 තෙක් වලංගුවන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ. ඉහත සඳහන් කළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

 

‘අපි සෙල්ලම් කරමු‘ (KUMAMOTO UNESCO ) කුමමොතෝ යුනෙස්කෝ සිතුවම් තරග ත්‍යාග ප්‍රදානය

ජපානයේ යුනෙස්කෝ කුමමොතෝ ආයතනය ළමා ශීල්ප ශාලිකාව, විජය පුවත්පත ද සම්බන්ධ කර ගනිමින් ‘අපි සෙල්ලම් කරමු‘ නමින් පැවැත් ව සමස්ත ලංකා චිත්‍ර තරගයේ සම්මාන හා සහතික පත් ප්‍රදානය  අද කොළඹ සෞදර්ය විශ්ව විද්‍යාලයේ ජේ.ඒ.ඩි පෙරේරා කලාගාරයේදී පැවැත්විණ. ජපානයේ සොජෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කියුතෝ කුසුමුතෝ මහත්මියගේ සහ විශ්ව විද්‍යල සිසු සිසුවියන්, ජපන් කලාකරුවන්ගේ රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. 
ඡායාරූප -රුෂිරු තරංග

      

ළමයින්ගේ චිත්‍රවල හොඳ නරක හෝ කැත ලස්සන කියා දෙයක් නැත. ඇත්තේ පරිකල්පනය හා අපූර්වත්වයයි. 

හැම ළමයෙකුගේම චිත්‍ර හරිම ලස්සනයි, සෑම ළමයෙක් තුළම කලාකරුවෙක් සිටී, ළමයින්ගේ ම චිත්‍ර වල ඇත්තේ ළමයින්ගේ අවංක අදහස්ය. ඉතා ප්‍රවේශමෙන්  ඒවා බලා රසවිඳීම සහ ඥානාන්විතව තේරුම් ගැනීම වැඩිහිටියන් අතින් සිදුවිය යුතු වෙනවා. ළමයින්ගේ දෘශ්‍ය භාෂාව සහ ප්‍රවීණ දෘශ්‍ය කලා (චිත්‍ර) කරුවන්ගේ දෘශ්‍ය භාෂාව (චිත්‍ර), තේරුම් ගැනීම සමාන ආකාරට සිදුවෙනවා. ළමයින්ගේ චිත්‍රවල හොඳ නරක හෝ කැත ලස්සන කියා දෙයක් නැත. ඇත්තේ පරිකල්පනය හා අපූර්වත්වයයි. 
                                                                            —————-කථිකාචාර්ය කිංස්ලි ගුණතිලක

 

සබැඳි පුවත්
යුනෙස්කෝ කුමමතෝ සිතුවම් (අපි සෙල්ලම් කරමු) ජයග්‍රහකයෝ

සිරිසඟබෝ රජු හිස දන්දුන් ස්ථානය රාජාංගණය හත්ථිකුච්චි විහාරයයි

වසර සිය ගණනක් මෙරට පැවැති ඓතිහාසික පුවතක් සාවද්‍ය බවට පත් කරමින් සිරිසඟබෝ රජු හිස දන්දුන් ස්ථානය රාජාංගණය හත්ථිකුච්චි විහාරය බවට අංගසම්පූර්ණ පර්යේෂණයකින් සාධක සහිතව සනාථ කළ බව අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය ඊයේ (14දා) අනාවරණය කළේය.

මේ දක්වා ජනප්‍රවාදයේත්  ඓතිහාසික ලේඛනවලත් සඳහන් පරිදි විශ්වාස කර තිබුණේ ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසේ  අනුරාධපුර රජ කළ සිරිසඟබෝ රජු මගියාට හිස දන්දුන් සුප්‍රකට කතාවේ සඳහන් ස්ථානය ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලයි. 

වසර 2013දී නව පර්යේෂණ සඳහා අවධානය යොමු කළ භික්ෂු විශ්වවිද්‍යාලය මේ වනවිට එහි සේවය කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිය ලගමුව මහතාගේ මූලිකත්වයෙන්  හත්ථිකුච්චි විහාරය ආශ්‍රිතව එතෙක් අනාවරණය කරගෙන නොතිබූ සෙල්ලිපි 68ක් අධ්‍යයනය කිරීමට පර්යේෂණයක් ඇරඹූ බවත් එම පර්යේෂණය අවසානයේ මෙලෙස ඉතිහාසයේ ප්‍රබල පුවතක් වෙනස් කිරීමට හැකි වූ බවත් බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ උපකුලපති (මහෝපාධ්‍ය) මහාචාර්ය වරදිවෙල විජයසුමන නාහිමියෝ ප්‍රකාශ කළහ. 

එම පර්යේෂණයට අදාළව රචිත ‘‘රාජාංගණ හත්ථිකුච්චි පබ්බත විහාරය සහ සිරි සංඝබෝධි බෝධිසත්ව‘‘ ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් එම විශ්වවිද්‍යාලයේ ඊයේ (14දා) පැවැති විශේෂ උත්සවයේදී උන්වහන්සේ මේ බව අනාවරණය කළහ.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ආරිය ලගමුව මහතා,
‘‘මෙතෙක් අධ්‍යයනය නොකළ සෙල්ලිපි 68ක් සම්බන්ධයෙන් අපි පර්යේෂණ සිදු කළා. තපස් රකින සිරිසඟබෝ රජු හත්ත වනගල්ලේදී හිස දන්දුන් බවත් පසු කාලයේ එම ස්ථානයේ ගෝඨාභය රජු විහාරස්ථානයක් කරවූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා.

මේ හත්ත වනගල්ල නිට්ටඹුව ප්‍රදේශයේ අත්තනගල්ල කියා තිබූ අපහැදිලි මතය මතය මෙම පර්යේෂණයෙන් බැහැර වෙනවා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ථි හිමියන් හා තවත් ආචාර්ය දෙනමක් ද ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සමග වසර දෙකකට අධික කාලයක් මෙම සෙල්ලිපි පර්යේෂණය සිදු කළා.

පසුව සෙල්ලිපි පරීක්ෂාවෙන් එහා ගිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළා. ඒත් වැඩි කාලයක් ගියේ ග්‍රන්ථය මුද්‍රණය සඳහා. මෙම සෙල්ලිපි වලින් ද, කුරුටු රූප, කුඩා සෙල් පුවරු පාරිසරික සාධක හා බොහෝ වෙනත් සාධක ඔස්සේ අපි මෙම නිගමනයට පැමිණියා.මහාචාර්යවරයා සමග මෙම ග්‍රන්ථය රචනා කිරීමට එක්වූ විමලඛන්ථී හිමියෝ මෙසේ පැවසූහ.

 "මෙම පර්යේෂණයෙන් සැබෑ හත්ථිකුච්චි විහාරය හඳුනා ගැනීමට අමතරව මෙතෙක් පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ ආන්දෝලනාත්මක වූ භාෂා ව්‍යවහාරයන් කිහිපයක් ද ගොඩනැගිලි ඉදිකිරීම් ගැන තිබූ වැරදි අදහසක් ද නිවැරදි කරගැනීමට හැකිවූවා. වහරල‘ නම් වචනයක් විවිධ තේරුම් සහිතව මෙතෙක් භාවිත වී ඇති අතර සෙනරත් පරණවිතාන සූරීන් පවා නිසි ලෙස නිර්වචනය කර නොතිබූ එම වචනයේ තේරුම විහාරස්ථානවල සලාක ප්‍රදානය ලෙස හඳුනා ගත්තා.

එමෙන්ම හත්ථිකුච්චි විහාරයේ ද ඇති ඕවලාකාර ගොඩනැගිල්ල අයත් වර්ගය මෙතෙක් හඳුනාගෙන තිබුණේ ‘හේවිසි මණ්ඩපය‘ ලෙස වුවත් එය  ‘ධම්ම සංඝනී ගෘහ‘ ලෙස නිවැරදි නිර්වචනයකට නගන්නට හැකි වූවා." මෙම අවස්ථාවට බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යාලයේ හිටපු උපලකුලපති තුඹුල්ලේ ශීලක්ඛන්ධ නාහිමි ප්‍රමුඛ ශික්ෂු විශ්වවිද්‍යාලයේ පීඨාධිපති හා අංශාධිපති හිමිවරුන් ද, සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන ගාමිණි අධිකාරි, එච්.එම්.ඩී.ආර්.හේරත් හා මහාචාර්ය තුසිත මැන්දිස් මහත්වරු ද ශිෂ්‍ය හිමිවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ. 

රඹෑව මනුල වික්‍රම

හැකිතරම් ජලය පානය කරන්න

පවතින කාලගුණ තත්ත්වය නිසා ශරීර උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් හැකි තරම් ජලය පානය කරන ලෙස වකුගඩු රෝග පිලිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායම සඳහන් කරයි.

මීට අමතරව කොමඩු, කැකිරි වැනි ජලය සහිත පලතුරු හා පිපිඤ්ඤා වැනි ජලය සහිත එළවළු වැඩි වශයෙන් ආහාරයට ගතයුතු බවද එම කණ්ඩායමේ සාමාජික මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

උදෑසන 10.00ත් සවස 2.00ත් අතර කාලයේදී එළිමහනේ ගමන් කරනවා නම්, කුඩයක් හෝ හිස්වැසුමක් භාවිත කළ යුතු බවද ඒ මහතා සඳහන් කර සිටියේය.

උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන මහපොළ වාරික ඉහළට

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් වෙත ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව එම ආයතනයේ සිසුන් වෙත මාසිකව ගෙවූ රුපියල් 1500ක් වන මහපොළ ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 2500ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය තාක්ෂණ අධ්‍යාපන පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා ප්‍රධානය කිරිම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ප්‍රමුඛතම ආයතනයකි. එහි ප්‍රා දේශීය මධ්‍යස්ථාන 19ක සිසුන් 20000කට අධික පිරිසක් ඉගෙනුම ලබයි.